BREAKING NEWS
Search

යශෝධා , මහේන්ද්‍ර මුල්වරට මියුසික් විඩියෝවක…!! රටම කතාකල මියුසික් වීඩියෝව එළි දකී.

අමරසිරි පීරිස්, අමල් පෙරේරා ගායනා කරන ‘‘විරාග රාගය අතරේ” ගීතය ඊයේ (27)  එළි දැක්වුනා. හැබැයි මේ ගීතය පිළිබඳව පහුගිය කාලේ ලොකු කතාබහක් ඇතිවෙලා තිබුණා.ඒකට ප්‍රධානතම හේතුව වෙලා තිබුනෙ මේ ගීතය පිරිමි යුග ගායනයක් වීම. එ් විතරක් නෙමෙයි මේ ගීතයේ රූප රචනාව පිළිබඳවත් ගොඩක් දෙනා කතාබහ කලා. කිසි දිනක ගීතයක රූප රචනාවකට දායක නොවුනු ප්‍රවීන රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සමඟ යශෝධා විමලධර්ම මේ සඳහා රංගනයෙන් දායක වී තිබීම විශේෂත්වයක්. ඒ වගේම සිනමා ක්ෂේත‍්‍රයේ නැඟී එන දක්ෂ නළුවෙකු වන හේමාල් රණසිංහත් මේ සඳහා දායක වෙලා තියෙනවා.මේ ඒ පිළිබඳව යශෝදා සහ අමල් පුවත්පතකට දැක්වූ අදහස්.

යශෝධා මියුසික් වීඩියෝවලට සම්බන්ධ වෙන්නෙ නෑ කියන මතයේද මීට පෙර හිටියේ?

ඔව්. මේ ගීතය අහනකම් එහෙම තමයි හිටියේ. ඒ වගේම අද හැදෙන බහුතරයක් මියුසික් වීඩියෝ ගැන මගේ පැහැදීමක් නෑ. මොකක් හරි වචන ටිකකට මොනවා හරි රූප රාමු ටිකක් දාලා තියනවා. සමහර අර්ථයක් ඇති රස වින්දනයක් ඇති ගීතත් මේ රූප රචනා නිසා විනාශ වෙලා තියෙනවා. ඔය රූප රචනා ආවේ රූපවාහිනී මාධ්‍යයත් එක්ක. ඊට කලින් අපි ගීතයක් අහලා අපේ මනසේ රූප මවා ගත්තා. අද ඒ වින්දනය ලබන්න බැරි තරමට රසිකයාව රූප රචනාවලින් අන්ද මන්ද කරලා. එක අතකට ඒක ඛේදයක්.

අමල්ගෙ විරාග රාගය ගීතය එහෙම නෑ කියලද යශෝධා කියන්නේ?

ඔව්. මම කියනවාට නෙමෙයි අහලා බලලාම ඔයාලට තීරණය කරන්න පුළුවන්. ඇත්තටම මම රඟපෑවේ මියුසික් වීඩියෝ එකක කියලා හිතාගෙන නෙමෙයි. කෙටි චිත‍්‍රපටයකයි මම රඟපෑවේ. ඒ තරමටම සිනමා ගුණ ඒ නිර්මාණයේ තිබුණා.

මහේන්ද්‍ර පෙරේරා ඔබේ රංගන දිවියට ආගන්තුකයෙක් නෙමෙයි නමුත් හේමාල්. ආධුනිකයි. ආගන්තුකයි?

මහේන්ද්‍ර අයියා සමග නිර්මාණවලට දායක වුණාට ඔහුයි මමයි කවදාවත් සැමියා බිරිඳ, පෙම්වතා පෙම්වතී තබා අයියා නංගීවත් වෙලා නෑ. මේ ප‍්‍රථම අවස්ථාව මහේන්ද්‍ර අයියා එක්ක එකට රඟපාපු. ඒ නිසා ඇත්තටම මට එතනදීත් මේ රූප රචනාව මට සුවිශේෂීයි. මහේන්ද්‍ර අයියා කියන්නේ සුවිශේෂ රංගධරයෙක්. මම කියන්නේ ඔහු ඉන්න  ඕනෑ ලංකාවේ නෙමෙයි යුරෝපයේ. හේමාල් කියන්නෙත් බොහෝ කුසලතා ඇති, බොහෝ සුදුසුකම් ඇති සිනමාවේ දිග ගමනක් යන්න පුළුවන් නළුවෙක්. අපි තුන්දෙනා බොහොම කැමැත්තෙන් ආසාවෙන් මේ නිර්මාණයට දායක වුණේ.

එහෙනම් රූප රචනාවකට සම්බන්ධ වෙන්න ගත්ත තීරණය ගැන දුකක් නෑ?

චුට්ටක්වත් නෑ. මොකද මම රඟපෑවේ කෙටි චිත‍්‍රපටයක නිසා. මම හිතන්නේ රසිකයාත් මම සමග ඒ කතාවට එකඟ වෙයි.

 

—————  අමල් පෙරේරා —————-

 

ඒ හොඳ වැඬේට අමරසිරි පීරිස් මහත්තයා ගාව ගන්න හිතුවේ ඇයි?

මට හිතුණ අමරසිරි අංකල් එක්ක ගීතයක් කරන්න. මම මගේ කැමැත්ත කිව්වාම ඔහුත් කැමති වුණා.

අමරසිරි පීරිස් මහත්මයා සමග ඔබේ සමීප ඇසුරක් තියෙනවාද?

ඔව්. මගේ පියාගේ හිතවතෙක්. ඒ නිසා ඒ හිතවත් කම මටත් තියනවා. මගේ හිතේ ඔහු ගැන හිතවත්කම තරමටම ගෞරවයකුත් තියනවා.

ගීතයේ අදහස කාගෙද?

අදහස බන්දුල අයියාගේ. මම කිව්වෙ අමරසිරි අංකල් එක්ක ගීතයක් කරනවා කියලා විතරයි.

බන්දුල නානායක්කාරවසම් මහත්මයා  ලබා දුන් ගීතයේ අර්ථයට අමරසිරි පීරිස් මහත්මයා කැමති වුණාද?

ඔව්. කිසිම ගැටලූවක් වුණේ නෑ.

කවුද අධ්‍යක්ෂවරයා හැටියට තිසරව තෝරා ගත්තෙ?

මම. තිසර කාලයක් ඉඳන්ම මම දන්න, මගේ වැඩ කරලා තියන දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. ඒ විතරක් නෙමෙයි රැල්ලට නොයන ගීතයකුත් මට කරන්න  ඕනෑ වුණා. ඒකයි ඔහුවම තෝරා ගත්තේ.

එතකොට මහේන්ද්‍ර, හේමාල්, යශෝධා තෝරා ගත්තේ?

ඒක මගේ අදහසක්. තිසර ඒ අදහසට කැමති වුණා.

නිර්මාණය වෙනුවෙන් අමල්ගෙන් සමහරු සතයක් වත් ගත්තේ නැතිලූ. සමහර අය හරි පොඩි ගාණක් ගත්තලූ‍. ඇත්තද මේ කතා? 

අපි මේ නිර්මාණය කළේ යාළුවෝ කීප දෙනෙක් එකතු වෙලා. මම වැඩේ කරමු කිව්වා මිසක් එයාලගෙන් ගාණක් ඇහුවෙත් නෑ. එයාලා මගෙන් ඇහුවෙත් නෑ. එහෙම තමයි මේ වැඬේ වුණේ.

 

හිමේෂා සවන්ති රාජපක්‍ෂ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *