BREAKING NEWS
Search

බැඳුම්කර විවාදය ගැන තීරණයකට, හෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක්

පළාත් පාලන ඡන්ද විමසීමට පෙර බැඳුම්කර සහ බරපතල වංචා, දූෂණ කොමිසම් සභා වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය හැකි ද යන්න පිළිබද සාකච්ඡා කිරීම සඳහා කථානායකවරයා හෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැදවා තිබෙනවා.

හෙට මධ්‍යහ්න 12ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන එම පක්ෂ නායක රැස්වීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ද සහභාගිවීමට නියමිත බවයි කථානායක කාර්යාලය නිවේදනය කළේ.

මේ අතර, බැඳුම්කර කොමිසම් සභා වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැදවා තිබුණා.

පෙරවරු 9ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම කැදවා තිබූ අතර, ඊට පාර්ලිමේන්තුවේ සිටින සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ලිඛිතව ආරාධනා කර තිබුණා.

කෙසේ නමුත්, ඊට එක්ව සිටියේ දේශපාලන පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකු පමණයි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික හෙළ උරුමය, ලංකා කම්කරු කොංග්‍රසය, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර නායකත්වය දරණ ප්‍රජාතන්ත්‍රවාදී වාමාශික පෙරමුණ සහ ප්ලොට් සංවිධානය නියෝජනය කරමින් නියෝජිතයින් එක්ව සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස් පක්ෂයේ නායක හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර ද මෙම සාකච්ඡාවට එක්වුණා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සෙසු දේශපාලන පක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණ මෙම සාකච්ඡාවට සහභාගි වූයේ නැහැ.

නීතිපතිවරයා, මහබැංකු අධිපතිවරයා සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සාකච්ඡාවට කැදවා තිබුණා.

බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ පිටු අඩුවීමක් සිදුව ඇති බවට පළ වන අදහස් පිළිබඳව මෙහිදී කරුණු ඉදිරිපත් කරමින් නිලධාරීන් පෙන්වා දී ඇත්තේ එලෙස පිටු අඩුවීමක් සිදුව නොමැති බවයි.

ඊට අදාළ අනු ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් පවතින බවත්, ඒ අතර නඩු කටයුතු ක්‍රියාත්මක වන තුරු රහස්‍යභාවය ආරක්ෂා කළ යුතු ලිපිලේඛන පවතින බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

මේ අතර, අදාළ සාකච්ඡාවට සහභාගි නොවීම සම්බන්ධයෙන් කරුණු දක්වා ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එමගින් ඔහු දක්වා ඇත්තේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහජන විශ්වාසය දිනා ගැනීමට කතා පැවැත්වීමෙන් ඔබ්බට ගොස් වහා ක්‍රියාමාර්ග ආරම්භ කරන්නේ නම් ජනාධිපතිවරයාගේ ඉල්ලීම සලකා බැලීමට කටයුතු කරන බවයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *